ජීවීන්ගේ දේහ විවිධ රසායනික සංයෝග රැසකින් සමන්විත වේ. මෙම සංයෝග සෑදී ඇත්තේ විවිධ මූලද්‍රව්‍ය විවිධ ආකාරයෙන් සංයෝජනය වීමෙනි.ස්වාභාවික ව පවතින මූලද්‍රව්‍ය 92 අතරින් 25ක් පමණ ජීවී දේහ තුළ අඩංගු වේ. මේවා විවිධ ආකාරයෙන් දේහයේ විවිධ ස්ථානවල ඇත. එම මූලද්‍රව්‍ය අතරින් ජීවී දේහ නිර්මාණය වීම සඳහා වැඩි වශයෙන් ම ඉවහල් වී ඇත්තේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා නයිට්‍රජන් යන මූලද්‍රව්‍ය හතරයි. මීට අමතර ව ජීවීන්ගේ පැවැත්ම සඳහා සල්ෆර්, පොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, අයන් හා ක්ලෝරීන් ආදී මූලද්‍රව්‍ය අත්‍යවශ්‍ය වේ. මානව දේහයේ අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍යවල ස්කන්ධය අනුව ප්‍රතිශත 1.1 රූපයේ දැක්වේ. සජීවී ෙසෙල එනම් සජීව පදාර්ථය නිර්මාණය වී ඇති රසායනික සංයෝග, කාබනික සංයෝග හා අකාබනික සංයෝග ලෙස කාණ්ඩ දෙකකට ඛෙදිය හැකිය. කාබන් මූලද්‍රව්‍ය අඩංගු සංයෝග කාබනික සංයෝග ලෙස ද කාබන් අඩංගු නොවන සංයෝග අකාබනික සංයෝග ලෙස ද හැඳින්වේ. සජීව පදාර්ථය අඩංගු මූලික කාබනික සංයෝග වර්ග 4කි, ඒවා ජෛව අණු ලෙස හැඳින්වේ.